භෞතික විද්‍යා ක්ෂේත්රයට දැක්වූ පෙරළිකාර දායකත්වය යම් සේද, එලෙසම අයින්ස්ටයින් හට අධ්‍යාපන ක්ෂේත්රය පිළිබඳවද ගැඹුරු අවබෝධයක් තිබීය. අධ්‍යාපනය හුදෙක් කරුණු සහ තොරතුරු එකතු කිරීමට පමණක් සීමා නොවිය යුතු අතර සිසුන් තුළ කුතුහලය සහ විවේචනාත්මක චින්තනය ඇති කිරීම ප්‍රධාන ලෙස අරමුණු කර ගත යුතු බව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට විය. මන්ද සැබෑ අධ්‍යාපනය යනු කරුණු කටපාඩම් කිරීම නොව පුද්ගලයන් තුළ දේවල් පිලිබඳ විස්මය ඇති කිරීම හා ගැටළු මතු කරමින් විමසන්නට උත්සුක වන මානසිකත්වයක් ඇති කිරීමයි.
වත්මන් අධ්‍යාපනය තුළ නිර්මාණශීලීත්වය ඇති වන්නේද යන කාරණය කතාබහට ලක්විය යුතුමය. මන්ද ජීවිතයේ ගැටළු විසඳීමට සහ නවෝත්පාදනය සඳහා නිර්මාණශීලීත්වය අත්‍යවශ්‍ය කාරණයකි. අධ්‍යාපනය සිසුන්ව සීමාවෙන් පිටත සිතීමට, සාම්ප්‍රදාය ප්‍රශ්න කිරීමට, ප්‍රඥාව සහ නව අදහස් ගවේෂණය කිරීමට දිරිගැන්විය යුතුය. නිර්මාණශීලිත්වය වනාහි මිනිසාගේ හැකියාවන්ගේ අගුළු ඇරීමට සහ සමාජයේ ප්‍රගතිය ඇති කිරීමට සුදුසුම මාර්ගය බව අප සැමදෙනා විශ්වාස කල යුතුව ඇත. එබැවින් දක්ෂතාවයෙන් සහ පරිකල්පනයෙන් අනාගතයේ අභියෝගවලට මුහුණ දීමට හැකිවන පුද්ගලයන් බලගැන්වීම රටක අධ්‍යාපන ක්රමයේ ප්‍රධාන වගකීම බවට පත් වීමට කාලය පැමිණ ඇත.

එමෙන්ම අධ්‍යාපනය හරහා සිසුන් තුළ සදාචාරාත්මක වටිනාකම්, සංවේදනය සහ සමාජ වගකීම පිළිබඳ හැඟීමක් වර්ධනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බව ඔහු විශ්වාස කළේය. සැබෑ බුද්ධිය යනු බුද්ධිමය ශක්තිය පමණක් නොව ඒ තුල චිත්තවේගීය සහ සදාචාරාත්මක වටිනාකම් ද ඇතුළත් බව අයින්ස්ටයින් හඳුනා ගත්තේය. අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ දැනුමෙන් පමණක් නොව දයානුකම්පිත සහ සදාචාරාත්මක ක්‍රියාවන්ගෙන් වටවුණු මනා පුද්ගලයන් වර්ධනය කිරීම බව ඔහුගේ මතය විය.
ඒ ඔස්සේ බලන කල වත්මන් සමාජයේ සිදුවී ඇත්තේ කුමක්ද යන්න හරිහැටි නිරීක්ෂණයක යෙදේ නම් අපට බොහෝ දේ වෙනස් වී නොමැති බව හා අප තවමත් යල්පැනගිය ක්‍රම ඔස්සේ ගමන් කරමින් ඒ හරහා සිසුන්ගේ ආතතිය සහ කනස්සල්ල පමණක් වර්ධනය කර ඇති බව අපට හොදින් පෙනෙනු ඇත. අධ්‍යාපන ක්‍රමය සිසුන්ව නිශ්චිත වෘත්තියක් සඳහා නිර්මාණය කර ඇත. නමුත් සැබවින්ම අවශ්‍ය වන්නේ විශේෂ දැනුමක් ලබා ගැනීම නොව ස්වාධීන චින්තනය සහ විනිශ්චය සඳහා හැකියාව වර්ධනය කිරීමෙහි ලා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමය. යමෙක් තම විෂයෙහි මූලික කරුණු ප්‍රගුණ කර ඉන් පරිභාහිරව ස්වාධීනව සිතීමට හා එක්ව වැඩ කිරීමට ඉගෙන ගෙන තිබේ නම් – ඔහු හෝ ඇය නිසැකවම තම මාර්ගය සොයා ගනු ඇත. තවද සවිස්තරාත්මක දැනුම ලබා ගැනීමේ පුහුණුව ලබා ඇති පුද්ගලයාට වඩා ප්‍රගතිය සොයාගැනීමට හා ජීවිතයේ වෙනස්කම් වලට වඩා හොඳින් හැඩගැසීමට ඔවුනට හැකි වනු ඇත.
විශේෂ දැනුමක් තුලින් කිසිලෙසකත් ඔවුනට අවැඩක් නොවනු ඇත. නමුත් ඒ හරහා ඔවුන් පාසල් ජීවිතයෙන් පසු අත්කරගත යුතු ජයග්රහන සියල්ලද පාසල තුලදීම ඉගැන්වීම පිලිබඳ තරයේ විරුද්ධ වීමට මට අවසරය. මන්ද විශේෂිත පුහුණුවකට වඩා අවශ්‍ය වන ජීවිතයේ මනුෂ්‍ය ඉල්ලීම් බොහෝ සෙයින් වැඩිය. ඉගැන්වීම සඳහා විෂයයන් තෝරාගැනීම ගැන හෝ ඉගැන්වීමේ ක්‍රමය ගැන කිසිවක් පැවසීමට මට නොහැකිය. ඒ සඳහා මට වඩා බොහෝ සෙයින් දක්ෂ හා දැනුමැති පුද්ගලයින් මෙරට ඕනෑ තරම් ඇත. වැදගත් වන්නේ භාශාවද, ආගමද – විද්‍යාව හෝ ගණිතයද යන්නට ඇත්තේ ද්විතීය වැදගත්කමක් බව පැවසිය හැකිය. නමුත් පාසල තුල යමෙකුට තම ආත්මය සොයාගත හැකි වන්නේ නම් එම පාසලේ ගුරුවරුන් – කලාකරුවන් ලෙස සිතිය යුතුමය. ගුරුවරයාට ඉගැන්විය යුතු දේ තෝරාගැනීමේදී සහ ඔහු විසින් භාවිතා කරන එකී ඉගැන්වීමේ ක්‍රම තෝරා ගැනීමේ දී පුළුල් නිදහසක් ලබා දිය යුතුය. මක්නිසාද යත් අමු මැටි ගුලියක් නිසි ලෙස හැඩගැස්වීමේ සතුට බලහත්කාරයෙන් හෝ පීඩනයෙන් මියැදෙන්නට දෙන්නේ නම් එය ජාතියේම පරිහානියක් වනු ඇත.